[සමන්ත කුමාර]
එක්සත් ජාතික පක්ෂ ක‍්‍රියාකාරීන් මුදල් දී සන්ධානයට එක්වන යුගයක් නිර්මාණය වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පාක්ෂිකයන් තුළ එක්සත් ජාතික පක්ෂය පිළිබඳ පවතින විශ්වාසය තවදුරටත් බිඳ වැටී ඇති බව එමඟින් තහවුරු වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඊයේ පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මැතිවරණයේ පළමු ජනරැළිය අමතමින් ඔහු මේ බව කියා සිටියා.
නියගයක් පවතින අවස්ථාවකදී වුවද මැතිවරණය පැවැත්වීමට තීරණය කළේ ජනතාව පිළිබඳ තබා ඇති විශ්වාසය මත බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය සභා 06 ක එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායකවරුන් 06 දෙනෙකු මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරීන් කිහිපදෙනෙකුද මෙහිදී සන්ධානයට එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.