
13 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්ව අතර කිසිදු ගැටුමක් නැතැයි අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමක් පමණක් ආණ්ඩුව තුළ සිදුවන බවයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී නැගුණු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියා.
කෙසේ වෙතත් සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වන ජාතික හෙළ උරුමය පවසන්නේ 13 වන සංශෝධනය හා එමගින් ස්ථාපිත කෙරුණු පළාත් සභා බලහත්කාරයක් බවයි. සංශෝධනයෙහි සඳහන් සියලු බලතල පළාත් සභාවලට ලබා දුනහොත් රජයෙන් ඉවත් වන බවද ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුමය ප‍්‍රකාශ කළා. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව කියා සිටියා.
ආණ්ඩුවේ තවත් පාර්ශ්වකරුවෙකු වන ජාතික නිදහස් පෙරමුණද 13 වන සංශෝධනයට විරෝධය පළ කර තිබෙනවා. එය පදනම් කරගත් විසඳුමක් ගෙන එන්නේ යැයි එම පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සර්ව පාක්ෂික කමිටුවටද චෝදනා කළා.
මෙවැනි කරුණු හේතුවෙන් 13 වන සංශෝධනය හෝ වෙනත් දේශපාලන විසඳුමක් පිළිබඳ ආණ්ඩුවේ පාර්ශ්ව අතර පරස්පරතා පවතින බවට එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද චෝදනා කරමින් සිටිනවා.
**********
